වයඹ දිග ස්පාඤ්ඤයේ සන්තියාගෝ ද කොම්පොස්ටෙලා නගරය අසල ඊයේ සවස සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයෝ 77 දෙනෙක් මියගියහ. තවත් 100 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. දුම්රියේ සිටි මුළු මගීන් සංඛ්‍යාව 218කි. මැඩ්රිඩ් අගනුවර සිට ෆරොල් බලා ගමන් කරමින් තිබූ මෙම දුම්රියේ මැදිරි අටම පීල්ලෙන් ඉවතට පැන ඇත. ජනමාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමට වංගුවක දී දුම්රිය වේග සීමාවට වඩා දෙගුණයක පමණ වේගයකින් ගමන් කොට තිබේ.
පීලි පැනීමට හේතුව පිළිබඳ දුම්රිය නිලධාරීන් කිසිවෙකු මෙතෙක් ප්‍රකාශයක් කොට නොමැත. මෙය ස්පාඤ්ඤයේ වසර 40කින් මෙපිට සිදුවූ දරුණුතම දුම්රිය අනතුර යැයි විශ්ලේෂකයෝ පවසති. ආරක්ෂාකාරී දුම්රිය ගමන් පිළිබඳ සාපේක්ෂක වශයෙන් ස්පාඤ්ඤය මෙතෙක් යහපත් වාර්තාවත් තබා සිටි බව බීබීසී ගුවන් විදුලිය වාර්තා කළේය. වංගුවකදී ඉතා වේගයෙන් දුම්රිය ගමන් කළ බවත් එවිට දුම්රිය පීලි පැන්න බවත් එහි මගියෙක් කීය.
ජාතික දුම්රිය ජාලය වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් ආයෝජනය කොට ඇති ස්පාඤ්ඤයේ 1972න් පසුව මෙතෙක් සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය වේ. දුම්රිය පීලි පැනීම පිළිබඳ විමර්ශනය කිරීමට විනිශ්චයකාරවරයකු දැනටමත් පත් කොට ඇත. දුම්රිය සුන්බුන් අතර සිර වී සිටින මගීන් ඇත්දැයි සෙවීමට දුම්රිය සේවකයෝ සෝදිසියක් ඊයේ දියත් කළහ. මියගිය පුද්ගලයන්ගෙන් 73 දෙනකුගේ මළ සිරුර දුම්රිය සේවකයන් සහ පොලිසිය විසින් දැනටමත් සොයා ගෙන ඇති අතර රෝහලට ඇතුළු කරනු ලැබූ තවත් 4 දෙනකු මියගිය බව ගැලිසියාහී ශේර්ෂ්ඨාධිකරණයේ ප්රකාශිකාවක් ඊයේ සවස පැවැසුවාය.