බොහෝ දෙනෙක් පීඩා විදින ඉරුවාරදය ගැනයි අපි මෙවර ලිපියෙන් කතා කරන්නට සූදානම් වෙන්නේ.
ඉරුවාරදය නම හැදිලා තියෙන ආකාරයෙන් පටන් ගනිමු. ඉරුවාරදය නම ලැබී ඇත්තේ ඇතැම් පුද්ගලයන්ට හිරු එළියට බොහෝ වේලාවක් නිරාවරණය වීමෙන් හිසරද තත්ත්වයක් ඇති වන නිසාය.
නමුත් වෛද්‍ය විද්‍යාත්මකව මේ වනවිට තහවුරු කරගෙන තිබෙන කාරණය වන්නේ ඉරුවාරදයට අව්ව පමණක් බල නොපාන බවයි. ඉරුවාරදයට බලපාන වෙනත් සාධක තිබේ. මේවා තවම හරි හැටිම සොයා නොගත්තද අනුමාන කරන කරුණු තිබේ.
ඉරුවාරදය මොළයට රුධිරය සපයන රුධිර නාලවල යම්කිසි හැකිලීමක් හෝ ප්‍රසාරණයවීමක් නිසා හෝ ඇතිවන තත්ත්වයක් ලෙස විශ්වාස කරයි. මෙම රුධිරනාලවල හැකිලීම හෝ ප්‍රසාරණය නිසා හිසරදය ඇතිවන බව විශ්වාස කරයි.
ඉරුවාරදය පිරිමින්ට වඩා කාන්තාවන්ට වැළදිමේ ප්‍රවණතාවය ඉහළයි. තවද විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ශුද්ධිය සමග ඉරුවාරදය වැඩිවීමක් සිදුවේ.
විශේෂයෙන් ඉරුවාරදයෙන් පෙළෙන රෝගින් වැලකිය යුතු ආහාර වර්ග කිහිපයක් ඇත. ඒවා නම් වැනිලා අඩංගු කෑම සහ බීම වර්ග, කොකොවා අඩංගු නිෂ්පාදනයන්, ඇතැමුන්ට ඉගුරු අඩංගු නිෂ්පාදන, සමහර කුළුබඩුවර්ග, සිට්‌රස් කුලයේ පලතුරු වර්ග, මින්ට් වර්ගවලට, චීස් වර්ගවලට, බියර් වර්ගවලටත් සහ කෝපි වර්ග වලටත් රතු වයින් රටකජු සහ කජු වලටත් මෙවැනි තත්ත්ව ඇතිවේ.
අපි මුලින් කතා කළ පරිදි ආලෝකයට සංවේදිවීම තුළත් තවත් කොටසකට රූපවාහිනිය නැරඹීම මතත්, නිදිවැරීම , අධික මහන්සිය, අධික ශීතල හෝ රස්‌නේ බවද අධික දුක හෝ සතුට වැනි ආවේග සහ මානසික ආතතිය වැනි කරුණු ඉරුවාරදය ඇතිවීමට බලපායි.
ඔලුවේ කැක්‌කුම ඇතිවීමට බලපාන එක් හේතුවක් ලෙස ඉරුවාරදය හඳුන්වාදිය හැකියි. නමුත් කෙනෙකුට ඔලුවේ කැක්‌කුම ඇති වූ පළියට එය ඉරුවාරදය ලෙස හඳුන්වාදිය නොහැකියි. එවැනි රෝගියෙකුගේ රෝග ලක්‌ෂණ පරික්‌ෂා කිරීමෙන් ඔවුන්ට හිසරදයට හේතුවන වෙනත් රෝග තත්ත්ව නැති බව සනාථ කිරීමෙන් පසු පමණක් ඉරුවාරදය තිබේදැයි හඳුනාගත හැකියි. තවද මෙම රෝග තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා විශේෂිත පරික්‌ෂණ නොමැත.
ඉරුවාරදයේ රෝග ලක්‌ෂණ
ඉරුවාරදයේ වර්ග කිහිපයක් ඇත. එම වර්ගය අනුව රෝග ලක්‌ෂණ වෙනස් වේ. සාමාන්‍යයෙන් ඉරුවාරදයේ රෝග ලක්‌ෂණ ලෙස ඔලුවේ කැක්‌කුම, වමනය සහ ඔක්‌කාරය , ඔලුවේ කැක්‌කුම පැමිණීමට කලින් ඇති වන ඕරා (Aura) තත්ත්වය හෙවත් (තරු පෙනෙනා ආකාරය නැතහොත් වටේට කලු රවුම් පෙනෙනා ආකාරය, විදුලි කොටනවා වැනි තත්ත්වය,) ඇතිවේ. ඉරුවාරදය නැවත නැවත ඇති වන තත්ත්වයක් වන අතර එවිට ප්‍රතිකාර ලබාගැනීමෙන් සහනයක් ඇතිවේ. සාමාන්‍යයෙන් ඉරුවාරදය පාලනය පමණක් වන අතර නිට්‌ටාවට සුව කළ නොහැකියි. ඉරුවාරදය නැවත නැවත ඇතිවීම වලක්‌වා ගැනීමට බෙහෙත් ඇත. මෙහිදී ඔබ දැනගත යුත්තේ සමහර බෙහෙත් මගින් වෙනත් ආබාධ ඇති විය හැකි බවයි. බෙහෙත් ලබා ගැනීම වෛද්‍ය උපදෙස් මත විය යුතුයි. ඒවා නිසි පිළිවෙළට ලබාගැනීමෙන් ඉරුවාරදය සෑදෙන වාර ගණන අවම කර ගත හැකිය. ඇතැමුන්ට වමනය ගිය විට ඉරුවාරද තත්ත්වය සමනය වේ.
විශේෂයෙන් ම පාසල් දරුවන්ට, වැඩකරන ජනතාවට මෙම රෝග තත්ත්වය වැළදීමෙන් එදිනෙදා වැඩවලට බාධා සිදු වේ. එම නිසා රෝග තත්ත්වය හඳුනාගෙන පාලනයට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. නමුත් ඔබ මතක තබාගත යුත්තේ කලාතුරකින් මොළයේ ඇතිවන පිළිකා තත්ත්ව වැනි රෝග නිසා ද විශේෂයෙන් උදේ වරුවේ තදබල හිසරදය ඇතිවිය හැකි අතර එවැනි රෝග ලක්‌ෂණ පහළ වුවත් එය ඉරුවාරද තත්ත්වයක් යෑයි නොසිතා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවී රෝග තත්ත්වය හඳුනාගැනීම ඉතා වැදගත්වේ.
වෛද්‍ය
නිරෝෂණ ප්‍රේමරත්න
ළමා රෝහල - බොරැල්ල